මල්පෙති බිම විසිරිලා. මේ ගෙන්දගම් පොළොවේ අව් රස්නෙට පිච්චුණු හිත් වැස්සෙන් හේදෙන්න අරන්. හැමෝම හිටියෙ වැස්ස දිහා බලාගෙන. හිනාවෙන, කතා කරන, රණ්ඩු වෙන සද්ද වැහිපොද වැටෙන සද්ද අස්සෙන් ඇහෙනවා. මොන දේ කළත් වැස්ස තුරල් කරපු ගමන් ම ආපහු යන්න හිතං හිටිය ගමන ආරම්භ කරන්න හිත හිතා හැමෝම සැරින් සැරේ වැස්ස දිහා බැලූවා.
වික්‍රම හිටියෙත් වැස්ස දිහා බලාගෙන. ඕපන් කැන්ටින් එකේ ඉඳන් කස ගස් යාය තෙමාගෙන එක සීරුවට ඇද වැටෙන වැහි බිංදු ගණන් කරමින්. අනෝරා වැස්සකට අහුවෙලා හතර අතට ඇඹරුණත් බිම ඇද වැටෙන්නේ නැතිව කෙලින් ඉන්න කස ගස් දිහා බලාගෙන. කරන්න ලොකු වැඩක් තිබුණෙ නෑ. යාළුවොත් ළඟ පාතක නෑ. කෑ ගහන, හිනාවෙන, සිංදු කියන සද්ද මැද්දෙ වික්‍රම නිසොල්මන් වෙලා ඉන්න හැටි සුනාරි දැක්කා. සරසවියට ආපු ගමන වික්‍රමට අහම්බයක් වගේ. ජීවිතේ ඒ තරම්ම අගහිඟවලින් පිරිලා. කොහොම හරි හොඳට ඉගෙන ගන්න ඕනි. ගෙදර අයගෙ බලාපොරොත්තුව ඔහු. ඒ හින්දා ජීවිතෙත් එක්ක යුද්ධ කරන්න සිද්ද වුණා.
‘ඇයි මොකද වුණේ’
සුනාරි ඇහුවේ හුඟාක් වෙලා බලාගෙන ඉඳලා බැරිම තැන. ඔහුගේ නිහඬ බව දරන්න ම බැරිවුණාට පස්සේ. මෙච්චර සද්ද බද්ද අස්සෙත් ඔහු හිටියෙ කාත් කවුරුවත් නෑ වගේ.
‘කරන්න දෙයක් නෑ. ඒ හෝටල් ජීවිතේ දරාගන්න පුළුවන් කමක් මට තිබුණෙ නෑ.’
උත්තරයක් ලැබෙයි කියලා සුනාරි හිතුවෙ නෑ. ඒත් ඔහු උත්තර දුන්නා.
‘ඇයි?’
‘විශ්වවිද්‍යාල ශිෂ්‍යයාට හැමදේම කරන්න පුළුවන් වෙන්න ඕනේ කියලා මං දන්නවා. ඒත් අපි ළඟ තාම ගමේකම, ගමේ ජීවිතය තියෙනවා. රෑ හෝටලේ සිද්ධ වෙන දේවල් දැක දැක හිතට එකඟව එතන ඉන්න මට පුළුවන්කමක් තිබුණෙ නෑ. සල්ලි නං ඇතිවෙන්න හම්බ වෙනවා. ඒත් සල්ලි කියන්නෙ මුළු ජීවිතේ ම නෙමෙයි.’
සුනාරිට පුදුම හිතුණා. හැමදේටම මිලක් නියම වෙච්ච ලෝකෙක මිල දී ගන්න බැරි දේවල් තාමත් තියෙනවා.
වැස්ස තුරල් කරලා. එකා දෙන්නා හෙමින් හෙමින් පොද වැස්ස අතරින් දිව යනවා. ඒ අතරට වික්‍රමත් එකතු වුණා. පොද වැස්සේ බොඳවෙලා යන ඔහුගේ රූපය දකිද්දී ඈට රජරට විශ්වවිද්‍යාලයේ මාලන් බණ්ඩාර කපුවත්ත ලියූ ‘දෙපස වෙනස’ කවි පංතිය මතක් වුණා. සුනාරිට වික්‍රම ගැන ඇති වුණේ ආදරණීය හැඟීමක්. ඒ හැඟීම ඇගේ හිත දයාවෙන් පිරෙව්වා.
‘දෙපස වෙනස’
ඝන වියන - පලා පියා
ගගනත - තරණයට
කැස කවන - කෙසඟ තුරු
ලදමුත් -ඉඩ හසර
නොම ගොස් - ඉහළ මහලට
පහළතම හිඳගෙන
පළල් ව පැතිර යන
මහත් තුරු
ඝන වියන - පලා පියා
ගගනත - තරණයට
කැස කවන - කෙසඟ තුරු
ලදමුත් -ඉඩ හසර
නොම ගොස් - ඉහළ මහලට
පහළතම හිඳගෙන
පළල් ව පැතිර යන
මහත් තුරු
No comments:
Post a Comment