අරගෙන ආ මල්වට්ටිය පූජා මඩුවේ තබා විහාරයේ ද චෛත්‍යයේ ද බෝධීන් වහන්සේගේද ආසනවල පිරී ඇති ඊයේ හැන්දෑවේ පූජා කරන ලද පරමල් සියල්ල සියතින් එකතු කොට වත්ත පහළ පරමල් ගොල්ලට දමා තුන්මළුවම මුසුන් දණ්ඩෙන් ඇමද මල් පහන් පුදා, දේවාලයටද පින් පෙත් අනුමෝදන් කොට නායක හාමුදුරුවන් සමඟද ටික වේලාවක් ගමේ විත්ති දොඩ දොඩා ඉඳ ඇඳිරි වැටෙන්නට කලියෙන් ආපසු ගෙදර යයි. පන්සලට එන ගමන් වදුලට දැමූ පොල්ගෙඩිය ද ගෙදර අරගෙන යාමට අමතක කරන්නේ නැත. ඇතමෙක් පන්සලෙන් අවුලාගත් ඒ පොල්ගෙඩිය සාංඝික දෙයක් ලෙස නොසිතතත්, ගෙදරින් පිළියෙළ කරන පන්සලේ පේරු දානයට ඒ පොල් ගෙඩියේ කිරි එකතු කරන්නේ නැත. පන්සලට දෙන දානය තමා හරිහම්බකරගත් මුදලකින් ම දිය යුතු බව සිතයි. පන්සලේ හාමුදුරුවන් කිවුවත් තමන් බැසගත් අදහස වෙනස් කිරීමට කැමති නැත. හැම දායක කාරකාදින්ම මේ වගේ නොවුණත් කෙනෙකුගේ සිතුම් පැතුම් මේ වගේ ය. නමුත් ඒ ගතිසිරිත් තුළ කොතරම් අව්‍යාජ සුනිර්මල බවක් ගැබ්ව තිබුණේදැයි ඉඳහිට හෝ ඒ ගැන කල්පනා කරන විට සිතට නැගෙයි.
පන්සල් වත්තේ බූ හනස්සක් අරගත්තත් දායකයන් සමඟ රණ්ඩු දබර වන දම්පහල හාමුදුරුවන් නායක හාමුදුරුවන්ගේ පැවිදි සහෝදර නමක වුව ද නායක හාමුදුරුවන්ගේ ගතිසිරිත් ගෑවිලාවත් නැති ඒත් උන්වහන්සේ හැමකෙනෙකු සමඟම කතාව අරඹන්නේ ලොකු හිනාවකින් ද මූණ සරසාගෙන ය. “මගේ රත්තරන් පුතේ” යයි පන්සලේ හැන්දෑවේ පූජාව අවසානයේ කරන අනුසාසනාවේ දී දරුවන් ඇමතුව ද දහම් පාසලේ කොල්ලෙක් පන්සලේ දම්පර අඹ ගහෙන් ගොඩියක්වත් කඩා අහු උනොත් ඒ හාදයාට දෙවියන්ගේ ම පිහිට ය. අඹගහමුලට දිමිගොටුද දමා එහිම ගැට ගසා තබයි. අම්මා හෝ තාත්තා එනතුරු නැත්නම් දහම් පාසල ඇරෙනතුරු කෑමොර දෙමින් එහෙමම ඉන්නට සිදුවෙයි. “මේ සාංඝික දේපළ ආරක්ෂා කිරීම අපේ යුතුකම් නිසා කළා මිසක කොල්ලාට දඬුවම් කළේ අහිතකින් නොව උං හදාගන්නට යයි අම්මා හෝ තාත්තා පන්සලට ආ පසුව කියයි. ගමේ වැඩි පිරිසක් තාමත් හිතාගෙන ඉන්නේ දම්පහල හාමුදුරුවන්ට වෙඬරු පිඬක් සේ උණුවෙන හදවතක් තිබෙන්නේය කියා ය. උන්වහන්සේ නායක හාමුදුරුවන් තරම් සැරවැර නැතිය කියා ය.
නිතර දන් පහන් දෙන අයගේ ඕනෑ එපා කම් ගැන වැඩි සැලකිල්ලක් දක්වන දම්පහළ හාමුදුරුවෝ අනෙක් කොයි කවුරුත් එක්ක වුවද ළෙන්ගතු මිතුරු දමින් කතාබහ කරති. දවසක් රාත්‍රි කාලයේ පොල්මණ්ඩියේ රැක සිට හොර පොල් කඩන ‘සනා’ අතට ම අල්ලාගෙන පොලිස් පොතේ ද ඔහුගේ නම ලියා තැබීය. කාරණේ ආරංචි වී සනාගේ අම්මයි තාත්තයි අඬ අඬා පන්සලට ආ වෙලාවේ දම්පහල හාමුදුරුවන් ඒ අය සැනසුවේ මං දන්නව අම්ම තාත්තලාගේ හිතට දැනෙන දුක. ඒත් මං හිතකින් කළා නෙවෙයි. කොල්ලා හදා ගන්නයි මේක කළේ. බය වෙන්න එපා දැන් ගෙදර යන්න කියා ය.
No comments:
Post a Comment