වර්තමානයෙහි අප දකින ඇතැම්විට අනුභවකරන වයිවාරණ ආහාරවලට වඩා රසයක් සහ පෝෂ්‍යදායී බවක් සමඟ අපේකමක් මේ සරල ආහාර වේලේ නැත්දැයි මම සිතමි.
ළිපෙන් බෑ කිරි හොද්දට දෙහි බෑයක් මිරිකන අතරේ මට ඇගේ හඬ ඇසිණ.
“නෝනේ...”
මඳක් නිවෙන තුරුම කිරි හොද්ද හැඳි ගෑ යුතු බැවින් මම “එන්ඩෝ”යි කෑගෑවෙමි.
“නෑ නෝනෙ මට මෙහෙම හොඳා...”
ඇය ඉස්තෝප්පුවේ හිඳගන්නට ඇති. කිසිදිනෙක ඇය ගෙතුළට හෝ කුස්සියට නොඑයි. කිරි හොද්ද විසින් ජනිත කළා වූ සොම්නස සිඳී ගියේ ය. මා හමුවන්නට පැමිණෙන අනෙකුත් අය මෙන් ම ඇය ද ගෙතුළට පැමිණෙන්නේ නම් අසුන්ගෙන මා සමඟ පිළිසඳරෙහි යෙදෙන්නේ නම් මා මොනතරම් කැමතිද... එහෙත් ඇය ඇගේ සීමාවන් නිසි ලෙස දැන හැඳිනගෙන සිටින සෙයකි.
තවම දුම් දමන කිරි හොද්ද කර මූඩියෙන් නොවසා මම කුස්සියෙන් පිටවීමි.
“රස්නෙ තියෙද්දි ව්‍යංජන වහන්ඩ නරකයි. වාස්පෙ එකතුවෙලා දිය රහ එනවා...”
“ඇයි ඉතිං මේ පුටුවක වාඩි නොවුණෙ...?
කරවල කූරියෙකු මෙන් කළු පැහැ වූ ද වියැළී හැකිළී ගියා වූ ද ගැහැනියගෙන් මා එසේ ඇසුවේ කී වෙනි වරටදැයි මට ම නිනව් නැත.
“බඩිගිනියි නෝනෙ... බට්ටිකක් කෑවහැකැ ඔය උඩවල්වල නැඟීගෙන... මෙහෙම හොඳා...”
දහදිය වැගිරෙන මුහුනේ පුළුල් සිනාව මා තුළ ඇති කළේ සියුම් ශෝකයකි. මේ දිළිඳු ගැහැනිය මෙන්ම මගේ මුත්තම්මා ද උස් අසුන් පිළිකෙව් කළ බව මට සිහිපත් වෙයි.
“අතපය දිගැරලා බිම ඉඳගන්නව වගේ ද ඔය අට්ටාලවල නැඟල අත පය අකුලාගෙන ඉන්නෙක...”
පොල් ලෙල්ලක් හෝ කොලොම්බුවක්, කැත්තක්, හිරමනයක් මත පමණක් හිඳගත් ඒ කුඩා ගැහැනිය ද මගේ ලෝකයේ එක් වීරවරියකි.
“හුඟ දවසකින්නෙ දැක්කෙ...”
මම ආ ගිය තොරතුරු කතා කරන්නට මුලපිරුවෙමි. ඊට පෙර ඇගේ කුසගිනි නිවිය යුතු බව දැන දැනම ය.
“ඉස්පිරිතාලෙ හිටිය නෝනෙ... මෙදා සැරේ නං මං මැරෙන්ඩම ගියා...”
ඇයට වැලඳුණා වූ රෝගය පිළිබඳ අසා දැන ගන්නට ඉඩක් නොලැබිණ. කුණාටුවක් මෙන් කඩා පාත්වූ කොල්ලන් නිසා ය. පැය ගණනාවකට පසු ඔවුන් දුටු මට මහත් සතුටක් දැනිණ.
ඔවුන් නිරුපද්‍රිතව සිටින බව එක් බැල්මකින් ම සැක හැර දැන ගත් මම සැනසුම් සුසුමක් හෙලුවෙමි. එහෙත් මගේ මිතුරිය පිටව යනතුරු සැඟවී හුන් නිවුන්නු මා වෙත පැමිණියේ අඳුරුව ගිය මුහුණුවලිනි.
“ඇයි මේ?”
ඔවුන්ගේ කුඩා මුහුණුවල දුක් අඳුර දුටු මම විමතියෙන් ප්‍රශ්න කළෙමි.
“ඇයි ඒ නැන්දා මෙහෙ ආවෙ?”
පුංචි පුතා උත්තරයක් වෙනුවට ප්‍රශ්නයක් නැඟුවේ ය.
“එයා හුඟ කාලයක් තිස්සෙ මෙහෙ එනව පුතේ... බත් ටිකක් කාලා මොනාහරි ඉල්ලගෙන යනව...”
ඇයි ඒ?”
චූටි පුතා කෝපයෙන් ද ශෝකයෙන් ද ඇසුවේ ය.
“එයාලට කුඹුරු නෑ... වැඩක් කරන්න බැරි තරමට එයා අසනීපෙන් ඉන්නෙ ... එයාගෙ මහත්තයත් එයාව දාල ගිහිං... කරන්න කිසිම දෙයක් නැතිකමට ගෙවල් ගානෙ ගිහිං මොනවාහරි ඉල්ලගෙන තමා ජීවත්වෙන්නෙ... ඔයාල දැකල තියෙනවනෙ... අර සීයා කෙනෙකුත් එන්නේ...” මම පැහැදිලි කළෙමි.
“ඒ වුණාට අම්මේ...” පුංචි පුතා මැසිවිලි නැඟුවේ ය.
“ඔයාල ඇවිත් කතා කරන්න එපැයි... අපි එයාලට කරුණාවෙන් සලකන්න ඕනනේ...”
“ඉතිං අම්මෙ... ඒ අපේ පංතියෙ සුමිත්ගෙ අම්මනේ...”
කුඩා කොලුවන් දෙදෙනා පිටතට නොපැමිණි කරුණ මට පසක් වූයේ ඒ හෙළිදරව්වෙනි.
“ඉල්ලගෙන කකා හරි තමුන්නෙ දරුව ඉස්කෝලෙ යවන ඒ අම්ම මොනතරම් උතුම් ද...” නිතැතින්ම මට කියැවිණ.
“පව් අම්මේ සුමිත්” හැඬුම්බර හඬින් කී දෙදරුවන් මගේ දෙපා බදා ගත් කල මගේ දෑසට කඳුළු නැඟිණ.
“අනේ දරුවනේ සුමිත් වගේ දරුවො තව කොච්චර ඉන්නව ද... ඉස්කෝලෙ යන්නෙම නැති ළමයි... පාරෙ හිඟාකන ළමයි... ගෙවල්වල වැඩකාරකම් කරන ළමයි... මේ ලෝකෙ වැඩියෙන් ම දුක් විඳින්නෙ පුංචි ළමයි තමා පුතේ...” යි කියන්නට මට මහත් ආයාසයක් දැරිය යුතු විය. මා වෙත යොමු වූ ඇස් හතරේ ම දිළිසෙන කඳුළු දුටු මට සියුම් සතුටක් ද දැනිණ. හැඟීම් දැනීම් නැති රොබෝ යන්ත්‍ර වෙනුවට මෙබඳු සංවේදී දරුවන් අද දවසේ දී අපට උවමනා කරන බැවිනි.
No comments:
Post a Comment