ඒත් ඒ කිසිම දෙයකින් බඩේ රුදාව අඩුවෙන පාටක් තිබුණේ නෑ. අන්තිමට ආණ්ඩුවේ ඉස්පිරිතාලයෙන් ඉංග්‍රීසි බෙහෙත් ටිකක් අරන් දෙන්න කියලා හිතාගෙන පුංචගේ අතින් අල්ලගෙන අම්මා පාරට බැස්සා.
දෙතුන් වතාවක් බඩ එළියේ ගියපු නිසා පුංචා හෙම්බත් වෙලයි හිටියේ. පුංචගේ අත පය ටිකක් දික්වුණු නිසාම කලින් වගේ වඩාගෙන යන්නට තරම් හයි හත්තියක් අම්මට තිබුණේ නෑ. ඒ ගැන හිතද්දී අම්මට හිතට අමාරුයි. පුංචගෙ ඇඟට අමාරුයි. කොහොම වුණත් ආණ්ඩුවේ මහ ඉස්පිරිතාලෙ තියෙන හන්දියට යන්න ගමේ බස් එක අල්ලා ගන්න ඕන නිසාම අම්මා, සුදු පුංචගේ අතින් ඇදගෙන වගේ හනි හනික පාර දිගේ ඇවිදගෙන ආවා. සුදු පුංචයි අම්මයි දෙන්නා පාර දිගේ ඇවිදගෙන අඹ ගහ යටට එද්දී එතැන හිටියේ නිල් පුංචා විතරයි.
“මොකද පුංචා මේ..?”
නිල් පුංචා ඇහුවේ ඇස් ඉහ මුදුනේ තියාගනිමින්. වෙනදට සෙල්ලම් කරන්න එද්දී සුදු පුංචා අම්මා එක්ක එනවයැ.
“මට සනීප නෑ. අම්මත් එක්ක බේත් ගෙන්න යනවා”
සුදු පුංචා එක අතකින් අම්මගෙ අතේ එල්ලීගෙන ම අනිත් අතින් බඩ අල්ලගෙන යාම්තමට කියා ගත්තා.
” කිරි අප්පට බල්ලො පැනපි කීවලු. දැන් මොකද කරන්නේ..? නිල් පුංචා ඇහුවා.
“දැන් සැරයක් කීවේ. බෙහෙත් ගෙන්න යනවා.” ඒ පාර උත්තර දුන්නේ සුදු පුංචගෙ අම්මා.
තම පුත්‍රයා ගමේ රස්තියාදු ගහන කොලු කුරුට්ටන්ගේ බජාර් එකට වැටීම ගැන අම්මා ඒ තරම් පැහැදීමකින් හිටියේ නෑ. නිල් පුංචට පොල්ලෙන් ගහන්නාක් වගේ උත්තරයක් ලැබුණේත් ඒ නිසයි.
“හරි ආන්ටි ..මං මේ ඇහුවේ අපි ඉතිං මෙයා බලන්න එන්නත් එපායැ. ඒකයි”
නිල් පුංචත් කටට ආපු උත්තරයක් දීලා මඟහරින්න හැදුවා. ඒත් ඒ උත්තරය ලැබුණු ගමන් සුදු පුංචා අම්මගෙ අත ගසාදාලා නිල් පුංචා දිහාට ආවා.
“අනේ..ඉතිං මාව බලන්න ඉස්පිරිතාලෙට එනවනම් ගේන්න ඕන මොනවද කියල නොකීවොත් ඒක මදිකමක්නෙ. මොකද ඕන ඕන හැමදෙයක් ම ඉස්පිරිතාලෙට ගේන්න අවසර නෑලු.”
එහෙම කියපු සුදු පුංචා තමන් කන්න කැමති කෑම වර්ග, පලතුරු වර්ග, බීම වර්ග ලැයිස්තුවක් නිල් පුංචාට කියවාගෙන ගියා.
නිල් පුංචත් ඉතා ඕනෑකමින් අහගෙන හිටියා. මේ විදිහට මඟ දිගට රස්තියාදු වෙන්න වුණොත් බස් එක අල්ල ගන්න බැරිවෙන නිසයි, පුංචගෙ ලජ්ජා නැති වැඩ ගැනයි කේන්ති ගිය අම්මා ලෙඩේ පැත්තක තියෙද්දී සුදු පුංචගෙ පස්ස පැත්තට දෙකක් ගහලා ආයෙමත් පාරට ඇදලා ගත්තා. එනපොට හොඳ නැති හින්දා නිල් පුංචත් ෂේප් එකේ ම යන්න ගියා.
“උඹට ලජ්ජාවක් කියලා දෙයක් ගෑවිලාවත් නැද්ද..ලෙඩෙක් බලන්න එනකොට ගේන්නෙ මොනවද කියලා ලෙඩාම කියනවද? ෂිකේ...මොන ලජ්ජාවක්ද..? අම්මා දොස්මුරයක් තිබ්බා.
“ඒ වුණාට..අර මොකක්ද සුපිරි ස්ටාර් තරගයක අම්මගෙ යාළුවෙක් ඇක්සිඩන්ට් වෙලා ඉස්පිරිතාලෙ ඉඳිද්දී අම්මලා එයා බලන්න ගියේ මල් පොකුරු අරන්නේ. මල් පොකුරු දීලා අම්මලා අඬනවා ටී.වී කරලා ටී.වී එකේ පෙන්නුවනෙ. මල් පොකුරු කන්නයැ. අයියෝ..සල්ලි. මගෙ යාළුවොත් ඒවා ආදර්ශයට ගනියි කියලයි එහෙම කීවේ. “ සුදු පුංචා දුකෙන් වගේ කීවා.
මොනවා කියන්නද කියලා පුංචගෙ අම්මට එක පාරටම ඔළුවට ආවේ නෑ.ටිකක් වේලා කරබාගෙන හිටපු අම්මා ආයෙමත් කට ඇරියා.
“ඉතිං මේ වගේ පුංචි ලෙඩකට ඔයාව ඉස්පිරිතාලෙ නවත්වා ගන්න දොස්තරලට පිස්සුද? එයාලා ඔයාට බෙහෙත් දීලා එවනවා.” අම්මා කීවා.
“එහෙම වුණොත් නම් ලෙඩක් තමයි. වැඩි අමාරුවක් නැතත් ටී.වී වැඩසටහනේ කට්ටිය කැමරා එහෙම අටවගෙන එනකල් අම්මලගෙ යාළුවා ඉස්පිරිතාලෙ තියාගෙන හිටියා වගේ දොස්තරලට කියලා ..අතට සල්ලි කීයක් හරි දීලා මාව කොහොමහරි එක දවසකටවත් ඉස්පිරිතාලෙ නවත්වාගන්න කියන්න බැරිද?” පුංචා ඇහුවේ අන්තිම තුරුම්පුවත් අත්හරින්නට කැමැත්තක් නැති නිසයි.
” අයියෝ සල්ලි..”
අම්මත් එහෙම කීවා. නෑ, ඇත්තටම එහෙම කියවුණා.
No comments:
Post a Comment