නාදන් මට හමුවුණේ මඩකලපුවේදී. එක ක්ෂේත්‍ර චාරිකාවකදී අපේ සම්බන්ධීකාරකයා වුණේ නාදන්. චාරිකාවට අදාළව ටෙලිෆෝනයෙන් දෙතුන් විඩක් කතා කරලා තිබුණා හැරෙන්ට අපි අතර වෙනත් පයුරුපාසානමක් තිබුණේ නැහැ.
වෘත්තීය ජීවිතේ දී මට හමු වූ අපූරු සගයන් අතරට නාදනුත් එක්වනු නියත යයි ඔහු හමු වූ මුල් දවසෙම මා තේරුම් ගත්තා. නැෙඟනහිර පළාතේ යුධ උණුසුම තදින්ම පැවතුණ ඒ කාලෙ අපේ ආරක්ෂාව - නවාතැන් අප හමුවිය යුතු පුද්ගලයන් ආදි සියලු වැදගත් කටයුතු ඔහු කල් ඇතිව සැලසුම් කර තිබුණා.
‘ගී කියන මාළුවන්ගේ නගරයට ආපු දකුණේ මිතුරන්ව ආදරයෙන් පිළිගන්නවා’ අප දුටු සැණින් නාදන්ගේ මුවින් ගලා ආ ඒ වචනවල ලොකු අරුතක් තියෙන බව අපට වැටහුණේ මහමුහුද හා ධීවර කර්මාන්තයත් එක්ක නැෙඟනහිර ජනතාවගේ ඇති ගැඹුරු සම්බන්ධය දෙතුන් දවසකින් ම අපට තේරුම් ගිය විටයි.
‘මඩකලපු ඇවිත් පාසිකුඩාවලින් නෑවෙ නැත්නම් ලොකු අඩුවක්’ පාසිකුඩා සවාරියකුත් නාදන්ගේ සැලැස්මට ඇතුළත් වී තිබෙන බව අපි දැනගත්තේ දිනක් ඔහු අප එහි රැගෙන ගිය පසුයි.
දවස ගාෙණ්ම උදේ අපේ නවාතැනට ‘ගුඩ්මෝනින්’ කියාගෙන එන නාදන් හවසට ‘ගුඩ්නයිට්’ කියලා අපෙන් සමුගත්තා. එහෙත් කවදාවත් ඔහුගේ නිවෙස ගැන හෝ වෙනත් පෞද්ගලික කාරණයක් ගැන හෝ අප හා වචනයක්වත් කතා නොකිරීමට නාදන් ප්‍රවේසම් වුණා.
ආපසු යාමට නියමිතව තිබුණු දවසට පෙර දා අපි නගරයේ හෝටලයක කෑම කමින් සිටියදී නාදන් හදිසියේම මෙහෙම කිව්වා.
‘අද ඩිනර් එකට ඔයගොල්ලො අපේ ගෙදර එන්ඩ ඕනෑ. හැබැයි අපි වෙජිටේරියන්ස්ලා හොඳද”
නාදන් අපිව පුදුමයට පත් කරන්න හිතාගෙන අන්තිම මොහොතේ මේ ආරාධනය කළා කියලයි අපි මුලදී හිතුවේ. එහෙත් ඒක එහෙම නොවන බව පසුව අපට වැටහුණා.
“මේ අපේ ගෙදරට සිංහල කට්ටියක් ආපු මුල් දවස තමා අද. මගේ නෝනයි බබාලයි හිතාගෙන හිටියේ සිංහලයො කියන්නෙ නපුරු මිනිස්සුන්ට කියලයි.’
නාදන්ගෙ නෝනයි දරුවනුයි මුලදි අපි සමඟ වැඩි භජනෙට ආවෙ නැහැ. ඒත් අපි දිගින් දිගටම පෙරැත්ත කළාට පස්සේ ඒගොල්ලො අපිත් එක්ක සමූහ ඡායාරූපයකටත් පෙනී සිටියා.
එතැන් පටන් සෑහෙන කාලයක් ගත වන තුරු අපි ඉතා සමීප මිතුරන් හැටියට සබඳකම් පැවැත්තුවා. කොළඹ ඇවිත් දවස් කිහිපයක් ගතකරලා යන්න කියලා කරපු ආරාධනය නාදන්ලා සතුටින් පිළිගත්තත් විඩින් විඩේ ඒක කල් ගියා.
එහෙත් දෛවය අපට සරදම් කරන්නේ අපේ සියලු සිතුම් පැතුම් උඩුයටිකුරු කරවමින්, සුනාමි රකුසා කඩා වැදුණේ මෙන්න මේ කාලෙයයි. මිතුරන් කණ්ඩායමක් එක්ක පාසිකුඩාවට ගිය නාදනුයි පුංචි පුතයි සුනාමියට බිලි වූ පුවත අපිට ආරංචි වුණේ සෑහෙන කාලෙකට පස්සෙයි.
‘ලෝකය ලස්සන කරන යහපත් මිනිසුන් දෙවියන්ගේ මල් උයන සරසන්න දෙව්ලොවට කැදවනවාය’ කියන පුවතේ සත්‍යයක් තිබෙන බව නාදන්ලාගේ වියෝවත් එක්ක මට හොඳටම තේරුම් ගියා.
No comments:
Post a Comment