බැංකුවක රස්සාව කරන මහත්තයෙකුට වඩා ත්‍රීවිලර් ඩ්‍රයිවර් කෙනෙක් මුදල් උපයන බව ඇත්තක් වුණත් ඒ ඇත්ත වැදගත්කමේ මායාවෙන් වැහෙනවා. දුවෙක්ව කරකාර බන්දන්න අම්මා කෙනෙක් ත්‍රීවිලර් ඩ්‍රයිවර් කෙනෙක්ට වැඩිය බැංකුවේ මහත්මයෙකුට සුදුසුකම් තියෙනවා කියල සලකන්නෙ ඒ නිසයි.
රැකියාවන් බෙදෙනවා සම්මත සහ අසම්මත කියලා වර්ග දෙකකට. හිඟන රස්සාව සැලකෙන්නෙ අසම්මත රැකියාවක් විදිහට. හිඟමනේ යාම කොහෙත්ම වැදගත් රස්සාවක් හැටියට වත් අඩුම තරමෙ රස්සාවක් හැටියට වත් සැලකෙන්නෙ නැති වුණාට හිඟමන රස්සාව කරගත්ත මිනිස්සු ඉන්නවා.
නන්දසේන රත්නපාල මහත්මයා තරමට හිඟන මිනිස්සු ගැන අධ්‍යයනය කරලා නැති වුණාට තීරු ලිපියකට ගොනු කරන්නට තරම් කරුණු මා සතුයි.
පුංචිම කාලෙදි මම මඟදි දකින හැම හිගන කෙනෙකුටම අම්මාගෙන් ඉල්ලාගත්තු කාසි මිටමෙලවීම පුරුද්දක් කරගෙන හිටියා. ඒ පුරුද්ද අම්මා සැලකුවේ මගෙන් ප්‍රකට වෙන කරුණාවන්ත බවේ ලක්ෂණයක් හැටියට. සමහර විට ඇත්තම කාරණෙත් ඒක වෙන්න පුළුවන්. ඒ කාලෙ මම හිතුවෙ හිඟන අය කියන්නෙ අපි විසින් මුදල් සහ ආහාර ලබාදිය යුතු පිරිසක් විදිහට. ඒ අයට ජීවත්වෙන්න වෙන මොනම ක්‍රමයක්වත් නැති බවයි මම හිතුවෙ.
ඒ කාලෙ මම හිටියෙ පුංචිම දේටත් හිතරිදවා ගන්න “අනේ පව්” මානසිකත්වයක. දැන් වුණත් ඒ මානසික තත්ත්වයේ ඒතරම් වෙනසක් නැති වුණාට ඇත්ත හිඟමන සහ බොරු හිඟමන වෙන්කර හදුනා ගැනීමේ හැකියාවක් මට පරිණතබව විසින් ලබාදීලා තියෙනවා.
මම දවසක් වාහනයක ඉදිරි අසුනේ ඉදෙගෙන හිටියා. මාර්ග තදබදය නිසා ඉදිරියෙන් නවත්වා තිබුණු බසයෙන් බැසගත්තේ දෑස් අන්ධ වුණු අම්මා කෙනෙක් සහ ඈට කණවැල ඇල්ලූ දුවක්. බසයෙන් බසින තුරු දෑස නොපෙනුන අම්මාගේ දෑසට බසයෙන් බැස්ස වහාම හාස්කමකින් පෙනීම ලැබුණා. කණවැල ඇල්ලූ සැරයැටියත් අතින් ගෙන අම්මාත් දුවත් කඩිමුඩියේ පාර පැන ගියා. මගේ ඇස් ඉදිරියෙන්ම.
තව ආකාරයක හිඟන මිනිස්සු කොටසක් ඉන්නවා. ඔවුන් තමන් විසින් ශාරීරික දුබල කම් ඇතිකරගන්න අය. කාසි යදින්නට තමන්ගේ පාදයක් ‘හූ’ කියාගෙන එන දුම්රියේ පිහිටෙන් අහිමි කරගත් මිනිසුන් ගැන මා අසා තියෙනවා. මත්කුඩු උරන්නට මුදල් නොමැති කම නිසාත්, තමන් විසින් ඒ මුදල් උපයා ගන්නට සිය වෙව්ලන ශරීරය ඉඩ නොදෙන නිසාත්, මෙවැනි ක්‍රියාමාර්ගවලට ඔවුන් පෙළඹෙනවා.
ශ්‍රී ලංකාව ප්‍රේමය විශාල වරදක් විදිහට සලකන රටක්. පෙම්වතුන් පෙම්කරන්නට වෙරළ තීරයේ ගල් කුළු ඇතුළත කුඩ සෙවණ තෝරාගන්නේ ඒ නිසයි. මේ තැන්වලට විත් කෑකොස්සන් ගසමින් බලෙන් මුදල් ඉල්ලාගන්නා තර්ජනාත්මක හිඟන මහත්තුරු කොළඹ වෙරළ තීරයේ සුලබයි. තමන්ගේ අසම්මත යයි සැලකෙන ස්පර්ශ කිරීමක්, දෙතොල් මත තැවරුණු හාදුවක් මේ හිඟන මිනිසුන් මහ හඬින් ප්‍රකාශ කරාවි යයි බියෙන් පෙම්වත්තු මොවුන්ට මුදල් ලබාදෙනවා.
පාසල් යන වයසේ දරුවන්ව හිඟමනට යොදාගැනීමත් අද ඉතාමත් සුලබව සිදු වෙනවා. හැටන් නුවරඑළිය මාර්ගයේ අලිගැටපේර මලු අතින්ගත් කළු පැහති පුංචි සමනලුන් සහ කතරගම පුදබිමේ වන්දනාකරුවන් පසුපසින් දිව එන දරුවන් මේ අතරින් ප්‍රමුඛ ස්ථානයක් ගන්නවා. අම්මලා තාත්තලා එදාවේල සරිකර ගැනීමට දරුවන් යොදාගැනීම කිසිසේත්ම අනුමත කළ නො හැකියි. අවුරුදු දා හතරට අඩු දරුවන් අනිවාර්යයෙන්ම පාසල් යා යුතුයි. ඒක නීතියක්. ඒත් ඒ නීතිය ශ්‍රී ලංකාවේ නිවැරදිව ක්‍රියාත්මක වෙනවාදැයි ප්‍රශ්නයක් තියෙනවා.
‘නෝනා මාතියා ඉත්කෝලෙ යන්න සපත්තු ගන්න තල්ලි දෙන්න’ යයි පැටලෙන දිවෙන් තෙපලමින් ඉස්කෝලේ වෙලාවල පස්සෙන් එන කුඩා දරුවන් ඇසට නැතත් හිතට කදුළු ගේනවා. ඔවුන් ඉස්කෝලේ නොයන බව සහතිකවම දැනගෙන සපත්තු ගන්නට සල්ලි දුන් අවස්ථා මගේ ජීවිතයේ තිබෙනවා. දරුවන් යනු ඕනෑම රටක අනාගතයයි. රටේ අනාගතය අතපා අනුන්ගෙන් යැපෙන්නට පුරුදු කිරීමකුයි ඔවුන්ගේ මවුපියන් කරනුයේ.
මේ අතර ඉන්නවා සැබවින් ම හිඟමන් යදින්නට සුදුසුකම් ලද මිනිස්සු. උපතින් ම තමන්ගේ ශරීරාංග අහිමි වුණු, එහෙමත් නැත්නම් හදිසි අනතුරකින් සිරුරේ කොටස් අහිමි වුණු මිනිස්සු තමයි මම හිඟමන් යදින්නට සුදුසුකම් ලද මිනිසුන් ලෙස සැලකුවේ. නමුත් අපූර්වත්වය වන්නේ මෙවන් මිනිසුන්ගෙන් බහුතරයක් හිඟමන් නොයැදීමයි. ඔවුන් තමන්ට කළ හැකි කුමන හෝ වෘත්තියකින් මුදල් උපයනවා. දෙකකුල් අහිමි ත්‍රීරෝදරථ රියදුරන් මෙන් ම ලොතරැයි විකුණන්නන්ද මා අනන්ත දැක තිබෙනවා. හිඟාකෑම ලැජ්ජාවට කරුණක් ලෙස ඔවුන් සලකනවා.
මා කෙසේ කීවත්, එක අතකට හිඟාකෑම යනු තවත් එක් රස්සාවකි. ඔහු / ඇය, නිශ්චිත නොවන දවසේ පඩියකට රස්සාව කරන්නෙකි. පරස්තාවකට සුදුසුකමක් නොවන රස්සාවක හිමිකරුවෙකි. ඔබත් මමත් වාගේම කැරකෙන ලෝකේ හැල්මේ දුවන මනුස්සයෙකි.
nellikathandara
No comments:
Post a Comment