10/19/2012

බලු සැලියුට්



ක්ලාක් මහත්තයාගේ ගෙදරට වෙලා ගමේ හිටපු කාලේ කොච්චර හොඳදැයි ටොමිසන්ට හිතුණේ හරියට ඉන්ඩ තැනක් තවමත් හොයා ගන්ඩ බැරි වෙච්චි හින්දා ය. ගමේ දී නම් කොහේ හිටියත් කරදරයක් නැත. මේ අරයාගේ බල්ලා, මෙයාගේ බල්ලා කියා කතන්දරයක් ද නැත. ඒත් දැන් නගරේ එහෙම නැත. 

බල්ලන්ටත් අයිතිකාරයන් සිටී. නිකම්ම නොව උප්පැන්න සහතිකයක් ද සමඟ ය.
අයිතිකාරයාගේ වගතුග බල්ලාගේ බෙල්ලේ එල්ලා ඇත. බල්ලන්ටත් ගිය කලක්. ටොමිසන්ට අයිතිකාරයෙක් නැත. ටොමිසන්ගේ සගයන් වන බලු රෑනට ද අයිතිකාරයන් නැත. ඒ හින්දා හැම වේලේ ම ටොමිසන්ට ද සිදු වූයේ අනෙක් අයගේ අඩන්තේට්ටම්වලට මුහුණ දෙන්නට ය. බේරී පලා යාමේ සටන් ක්‍රමය ටොමිසන්ට ඉගෙන ගන්ඩ සිද්ද වුණේ මේ හින්දා ය. ඒක දන්නේ නැති කාටවත් නගරයේ ඉන්ඩ නම් බැරිය.
වැරදීමකින් දෝ දැන් ටොමිසන් සිටින්නේ කොළඹ නගරයේ ය. කොළඹ කියන්නේ මේ රටේ අගනුවර බව ටොමිසන් දැන ගත්තේ දවසක් දා ඉස්කෝලේ ළමයි දෙන්නෙක් කතා කරනවා අහගෙන ඉඳලා ය. ඉස්කෝලේ ළමයි දන්න දේවල් කියා එවේලේ ටොමිසන්ට සිතුණේ ය. ළමයි දෙන්නා ඇඳගෙන හිටියේ කොට කලිසම් ය. ඉස්කෝලේ ඇරී හුඟක් වෙලා ගිහින් වුණත් මේ ළමයි දෙන්නා නම් ගෙදර යන පාටක් නැත. දෙන්නා ම එක සයිස්ය.
ටොමිසන් සිටියේ පාර අයිනේ් තිබුණු ගසක සෙවණේ ය. කොළඹ ගස් තිබීමත් ලොකු දෙයකි. ළමයි දෙන්නා ටොමිසන්ව දැක්කේ හදිසියේ ය.
”.... මොකද අර බල්ලා අපි දිහා බලාගෙන ඉන්නේ...?” කියා එකෙක් ඇසුවේ ය.
”.... ඇත්තද? අපි දිහා බලාගෙන ද ඉන්නේ? සමහර විට අපිව අඳුනනවා වෙන්ඩ ඇති...”
එක ළමයෙක් අත වනා ටොමිසන්ට සැලියුට් එකක් දැම්මේ ය. ටොමිසන් හොල්මන් වී ගියේ ය.
“දැන් මොකක් ද කරන්නේ?”
ටොමිසන් ද හුන් තැනින් නැගිට ඉදිරිපස කකුල ඔසොවා සැලියුට් එකක් දැම්මේය. ඒ සැරේ ළමයි දෙන්නා හොල්මන් වී ගියේ ය.
“... යක්කෝ... බල්ලොත් සැලියුට් දානවා නේ...”
“... හරි... උඹ කියාපං බල්ලා සැලියුට් දැම්මේ අතින් ද? කකුලෙන් ද?”
ටොමිසන් ද තමන් සැලියුට් දැමුවේ අතින් ද? කකුලින් ද? කියා කල්පනා කළේ ය. ඒක නම් අලුත් ම අලුත් ප්‍රශ්නයකි.
”...බල්ලන්ට කොයින් ද අත්? බල්ලන්ට තියෙන්නේ කකුල් නේ... ඇයි අපි ඉගෙන ගෙන තියෙන්නේ. බල්ලෙකුට කකුල් හතරක් තියෙනවා කියලා. සිවුපාවුන් කියන්නේ කකුල් හතරක් තියෙන උන්ට නේ...”
”...කෙහෙල්මල... ඕක තමයි මං හැමදාම කියන්නේ අපිට උගන්නන්නේ පරණ දේවල් කියලා. කවුද ඔය විෂය නිර්දේශ, පෙළ පොත් හදන්නේ? බල්ලන්ට තියෙන්නේ කකුල් හතරක් කියන එක පරණ කතාවක් නේ... කකුල්වලින් සැලියුට් දාන්න බෑනේ... සැලියුට් දැම්මේ අතින්... එතකොට බල්ලෙකුට තියෙන්නේ අත් දෙකයි. කකුල් දෙකයි.
”... එතකොට මිනිස්සුන්ට තියෙන්නෙත් අත් දෙකයි, කකුල් දෙකයි නේ... එතකොට මිනිස්සුත් සිව්පාවෝ ද?...”
”...අන්න ඒක නම් හොඳ ප්‍රශ්නයක්... සමහර මිනිස්සු අත් දෙකයි, කකුල් දෙකයි තිබුණට සිව්පාවෝ වගේ තමයි. දැන් බලපං අර බල්ලා. අපි දිහා බලාගෙන හිනාවෙනවා. අපි කියන දේ තේරෙනවා වගේ... ඌ තාමත් අපට සැලියුට් දා ගත්තු ගමන්... එතකොට ඌට තියෙන්නේ් අත් දෙකයි කකුල් දෙකයි. ඒ වුණාට අපි ඌට කියන්නේ සිව්පාවෙක් කියලා... මේ පාඩම් පොත් ඔක්කොම වෙනස් කරන්න ඕනෑ...”
ටොමිසන් හෙමින් සීරුවේ ළමයි දෙන්නා හිටිය තැනට ළං වුණේ ය.
“... මූ අපිව හපන්න එනවද දන්නේ නෑ...”
“... නෑ නෑ මං හිතන්නේ අපිත් එක්ක යාළු වෙන්ඩ එන්නේ...”
“... අපට මොකට ද බල්ලොත් එක්ක යාළුකම්...”
“... එහෙම කියන්ඩ එපා... සමහර බල්ලෝ ඉන්නවා මිනිස්සුන්ට වඩා හොඳයි. අහල තියෙනව ද ජපානේ දුම්රිය ස්ථානයක තියෙනවාලු බල්ලෙක්ගේ ප්‍රතිමාවක්... ඒ බල්ලා තමන්ගෙ ස්වාමියා මැරුණා කියලා දන්නේ නැතුව අවුරුදු විස්සක් විතර හැමදාම ඒ දුම්රිය ස්ථානයට ඇවිල්ලා තියෙනවා, ස්වාමියා එනවද බලන්න.”
“...ඔව් ඉතින් එහෙම බල්ලොත් ඉන්නවා තමයි... ඒ වුණාට මේ බල්ලා නම් අපි ළඟට එන්නේ හොඳකට නම් නෙවෙයි වාගේ... දුවමු... දුවමු...
ළමයි දෙන්නා දුවන්නට පටන් ගත්තේ පස්ස බලමිනි. ටොමිසන්ට බොහෝ දුක හිතුණේ ය. බල්ලෙක් වෙලා ඉන්න එක කොච්චර දුක හිතෙන දෙයක් ද? බල්ලෝ වගේ මිනිස්සු ඉන්න එක ඇත්තයි තමයි. ඒත් මිනිස්සු බල්ලන්ට සලකන්නේ බලු විදිහටම තමයි. අඩු ගානේ බල්ලෙක් එක්ක කතා කරන්නවත් මිනිස්සු ලෑස්ති නෑ නේ. බලු වැඩ කරන මිනිස්සු ඉස්සර බල්ලෝ වෙලා ඉඳලා, පස්සේ මිනිස්සු වෙච්චි අය වෙන්ඩ ඇති. මිනිස්සුන්ට බල්ලන් වෙන්ඩ පුළුවන් නම්, බල්ලෙකුටත් මිනිහෙක් වෙන්ඩ බැරි කමක් නෑනේ. හොයන්ඩ ඕනෑ මේකට ක්‍රමයක්.
ටොමිසන් ආයෙත් ගහ යටට ගිහින් හෙවණේ වැතිරිලා කල්පනා කරන්නට වුණා.
(ලබන සතියේ තවත් කොටසක්)
bandulapdaya@hotmail.com

No comments:

Post a Comment