නමුත් අද මරණීය අපරාධ සඳහා යුක්තිය සොයනු පමණක් නොව ඕනෑම පාඩුවක්, අලාබ හානියක් වෙනුවෙන් කෙනෙකුට නඩු විභාගයකින් යුක්තිය ඉල්ලා සිටින්නට හැකියාවක් ඇති තැනට ලෝකය පරිණාමයට පත් වී ඇත.
‘මැක්ඩොනල්ඩ්ස් උණු කෝපි’ නඩුව එවැන්නක් නොවේද? මිලදී ගත් උණු කෝපි බඳුන උකුළ මත තබාගෙන වාහනය පදින්නට යෑමෙන් ඈට සිදු වූ පිළිස්සුම් තුවාල වෙනුවෙන් ස්ටෙලා ලීබෙක් මැක්ඩොනල්ඩ්ස් අවන්හල ව්‍යාපාරයෙන් මුදල් ඉල්ලා සිටීමත්, හොරෙක් නිවසක වහලයෙන් ඇතුල්වීමට තනද්දී වහලය කඩා වැටීම නිසා තමන්ට වූ අලාබ හානිය වෙනුවෙන් නිවෙස් හිමියාගේ රක්ෂණ සමාගමට නඩු දමා වන්දි ඉල්ලීමත් විහිළුවක් සේ පෙනුනද, අධිකරණය එවැනි දේට පවා විශාල මුදල් වන්දි ගෙවීමට තීරණය කරන තැනකට ලෝකය පැමිණ අවසන් ය. එසේ කිරීමට සාමාන්‍යය මිනිසුන්ට අයිතිවාසිකම් සහ පහසුකම් තිබීමේ හොඳත් නරකත් දෙකම ඇති නිසා ඒ ගැන උඩින් පල්ලෙන් හෙවත් මතුපිටින් කතාකිරීම සුදුසු නොවේ.
ඕස්ට්‍රේලියාවේ කැන්බරා නුවරට නුදුරින් ගමක වනෝද්‍යානයක ස්වාභාවික වතුර වලකට පැනීමෙන් පතුලේ වූ ගල් වල වැදී කකුළක් කැඩී එයින් සදහටම අබාධිත වූවා යැයි කියන කෙනෙක් කවුන්සිලයට නඩු දැම්මේ ඒ වළ ගැඹුරු නැති බව සඳහන් කළ දැන්වීමක් නොතිබි නිසා ඔහුට ඒ පාඩුව වූ බව කියමින්. කුඩා නගර සභාව, නඩුවෙන් පැරදී වන්දි ගෙවීම සඳහා විශාල මුදලක බැංකු ණයක් ලබා ගත් බව මට කියා ඇත්තේ එහිම රාජකාරි කළ කෙනෙක්. සමහර විටෙක ‘නඩුත් හාමුදුරුවන්ගේ- බඩුත් හාමුදුරුවන්ගේ’ ක්‍රමයට නීතී පද්ධතිය ක්‍රියා කරන රටවල එසේ යුක්තිය සොයා ගැනීම පහසුවක් නොවන බව මා නොදන්නවා නොවේ. ඒ නිසා නඩු ගැන කතා නොකර මට සිද්ධ වූ පාඩුවක් ගැන යමක් ඔබට පවසමි.
වසර තුනක් ඉකුත්ව ගිය අතර ඔස්ට්‍රේලියාවේ නිවසේ සාමකාමි කුලී නිවැසියන් පදිංචී වී සිටීම හිතට මහත් සැහැල්ලුවක් විය. තෙවන වසරේදි එහි සිටි යුවළ නව නිවහනක් තනා නික්ම ගිය නිසා අලුත් පවුලක් පදිංචිවීමට පැමිනුණි. ඔවුන් විසින් වත්ත කෙළවර පිහිටි ගබඩා මඩුව ඔවුන්ගේ පාවිච්චියට ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇති බව අපගේ ඒජන්තවරයා අපට දැනුම් දුන්නේ නැත. වසර තුනකට පසුව කොන්තරාත්තුවේ සටහන් වූ දේ අමතකව ඒජන්තවරයා ගබඩාවේ තිබූ සියල්ලම කම්කරුවෙකු යොදා ඉවත්කරවා ඇත.
දෙපාර්ශවයේ අවබෝධයක් සහිත ගිවිසුමක් සහ ඒ පිළිබඳ ව සකැසි ලියවිලි තිබියදි එවැනි ගිවිසුමක් කඩකිරීමක් සිදුවී තිබිද්දී නඩු මඟට නොයන්නේ ඇයි යන්න අප දන්නා සියල්ලන් ම අපෙන් විමසූ ප්‍රශ්නයයි. “ඇයි නඩු දාන්නේ නැත්තේ? නිකන් ඉන්න එපා!” හිතවත් අය අවවාද කලා. අප නීතිඥවරයෙකු මුණගැසී ඒ ගැන විමසූව ද අමෙරිකාවේ සිට ඔස්ට්‍රේලියාවේ නඩු කීම එතරම පහසු නැති නිසා මේ වැඩය දිනෙන් දින කල් ගත වුණා.
මේ අතරතුරදී දිනක් මා අන්තර්ජාලයේ ශ්‍රී ලංකාවේ ප්‍රවෘත්ති කියවමින් සිටිද්දී එක්තරා සිරස්තලයක් දුටුවා. උදෑසන පාසල් යාමට පෙර මුව දෙවීමට ගඟට ගිය දියණියක කිඹුලකු විසින් ඩැහැ ගත්තා යයි එහි ලියා තිබුණා. මව බලා සිටිද්දී ම කිඹුලා දියට එබි දියණිය හිසින්ම ඩැහැ ගත්තද අසරණ ඇයට තමන්ගේ දරුවා වෙනුවෙන් කිසිවක් කරගත නුහුණු බව එහි සටහන් ව තිබුණා.
ඒ ක්ෂණයේම මා මගෙන් ප්‍රශ්න කළේ “මට නැති වුෙණ් මොනවාද?” “මට යමක් නැති වීද?” යන්නයි. ඒ මව තමන්ගේ පාඩුවට වන්දි ඉල්ලා නඩු මඟට බසින්නේ කාට එරෙහිවද? නළ වතුර පහසුකම් ලබා නොදුන් අයට ද? කිඹුලන් මර්දනය නොකරන්නන්ට ද? උදේට පාසල් යන්න පෙර මුව දොවන්නැයි කී අයට ද? ගඟේ කිඹුලන් සිටින බවට දැන්වීමක් පළ නොකළ අයට ද? මා නැති වූ දේ වෙනුවෙන් දැන් තැවෙන්නේ නැත. නඩු දැමීමේ අදහසකුත් මට නැත. දැන් මට දුක සිතෙන්නේ කිඹුලාට ගොදුරු වූ නොදන්නා දියණිය ගැන මිස, ඒ අම්මා ගැන මිස මගේ දරුවන්ගේ සිහිවටන ගැන නොවේ.
himali_sen@yahoo.co.uk
No comments:
Post a Comment