දැනට වසර කීපයකට පෙර ගිම්හාන සමයක ස්පාඤ්ඤයේ සෙවිලි නුවර මුළු දුන් ජෛව විවිධත්ව සමුළුවකට සහභාගි වීමේ වරම මට ලැබුණි. සමුළුව මුළු දුන්නේ “මෙලියා සෙවිලි” (Melia Sevilla) නම් හෝටලයේ ය. සමුළුව අතර වාරයේ තේ විවේකයකදී පසු පෙළ අසුන් ගෙන සිටි ස්පාඤ්ඤ රාජ්‍ය නියෝජනය කළ කණ්ඩායමේ යුවතියකගෙන් මා ඇසූ ප්‍රශ්නය වූයේ ග්‍රැනඩා (Granada) නගරය පිහිටා ඇත්තේ සෙවිල් නුවරට හුඟක් ඈතින් ද යන්නයි. ආශා සුක්වානි (ඉන්දියානු සම්භවයක් ඇති අයෙකි) නමැති මෙම යුවතිය දුන් පිළිතුර වූයේ ඔබ ග්‍රැනඩාව ගැන මෙතරම් උනන්දුවක් දක්වන්නේ මන්ද කියා ය. මගේ උනන්දුව වූයේ වර්තමාන යුගයේ විශ්ව කීර්තියට පත් ස්පාඤ්ඤ මහා සාහිත්‍යකරුවා වූ ගාර්ෂියා ලෝකාගේ වංහුං සොයා බැලීමයි. ඔහු ඉපදුණු නුවර වූයේ ග්‍රැනඩාවයි. ගාර්ෂියා ලෝකා නම ඇසූ සැනින් ආශා සුක්වානි මද හිනාවක් පා මවෙත පැවසුවේ ඔබ ළඟින් ම වාඩි වී සිටින යෙහෙළියගෙන් විමසා ගාර්ෂියා ලෝකා ගැන දැනගන්නා ලෙසයි.
මා අසල අසුන් ගෙන සිටි ස්පාඤ්ඤ යුවතිය ගාර්ෂියා ලෝකා උපන් අන්දලුසියානු (Andalusia) පළාතේ උපන් යුවතියක වූ අතර ගාර්ෂියා ලෝකාට කිසියම් ඥාති සබඳකමක් ඇති අයෙකු බව ද දැන ගන්නට ලැබිණි.
මුහුදු පතුල යට ඉඳලා
මුතු කැටයක නිදි කරවා
පෙණ කැටියක පා කරලා
මගෙ දෝතට පුතු ආවා
සරා තොටිල්ල කරා ගොස් බිලිඳා නළවන මේ ගීතය අදටත් අප මතකයේ පිළිරැව් නැඟේ. මෙහි දී රංගගත කළ බෙර්ණාදා ඇල්බාගේ ‘සිපිරිගෙය’ මෙන්ම ‘යෙර්මා’ නාට්‍යය ද ලෝකාගේ නිර්මාණ ඇසුරින් සකස් වූ ඒවා ය.
මට හමු වූ ස්පාඤ්ඤ යුවතිය තම ඥාතිවරයා ගැන තොරතුරු සියල්ල පැවසීමට මහත් උනන්දුවක් දැක්වී ය. රූසිරියෙන් දුටුවන් මන්මත් කරවන මැය දුල්වන් ඇස් දල්වමින් විටෙක දෙ ඇස් කුඩා කරමින් මුව උල්කර පැවසූ ලෝකාගේ කතාව මින් පෙර මා නො ඇසූ රස බර එකක් විය. ගාර්ෂියා ලෝකා ඉපදුණු අන්දලුසියානු පළාත කඳු මිටියාවත් කෙත් වතුවලින් ගහන සොබා සොඳුරු බවින් අනූන පෙදෙසකි. දොඩම් වතු හා ඔලිව් වතු ද පළාතට ගෙන ආවේ මනරම් සිරියාවකි. සෙවියා(Sevia) හා ග්‍රැනඩා නගර මෙම පෙදෙසේ පිළිවෙළින් බටහිර දෙස හා නැඟෙනහිර දිග පිහිටා ඇත. ලෝකා තම නිජබිම වූ අන්දලුසියාවටත් සොබා දහමටත් එකසේ ආදරය කළ කවියෙකි.
ලෝකා 1936 ජූලි මාසයේ දී එනම් වයස අවුරුදු 38 දී ස්පාඤ්ඤ සිවිල් යුද සමයේ දී මරුමුවට පත් විය. ලෝකා ඝාතනය වූයේ කෙසේ වුව ද ඔහු වෙඩි තබා මරන ලද බව ප්‍රකට කරුණකි. ඒ පිළිබඳ නියත තොරතුරක් අද වන තුරු සොයාගත හැකි නොවේ.
ලෝකා ඝාතනය වූයේ ග්‍රැනඩා නරගයේ ගංගා දෙණි පෙතක් අසල මිනී පිටියක දී ය. ලෝකාගේ ළමා විය ගෙවුණේ දිය දහර නිරතුරුව ගලා බසිනා මනරම් ගම්මානයක දී ය. කුරුලු සර නිබඳව නැඟෙන මිහිදුම් බර පරාදීසයක් බඳු එම කඳුකර ගම්මානයෙන් අලුයම ඇසුණේ පල්ලියේ ඝණ්ඨාර නාදයයි. ගමේ කෙත්වල පිදුරු සුවඳ ඔහු ආඝ්‍රාහනය කළේ දිව්‍යමය සුවඳක් සේ ය. ලෝකාගේ ගම මෙන්ම ලෝකා ගේ ලෝකය මා කලකට ඉහත දුටුවේ මහාචාර්ය විමල් දිසානායක පරිවර්තනය කළ කවියකිනි.
මා මළ පසු හැර තබන්න
උඩු මාලේ කවුළු පියන්
පැංචෙක් නාරං කනවා
එය පෙනෙනවා මෙතන සිටන්
තිරිඟු පොළනවා ගොවියෙක්
එය ඇහෙනවා මෙතන සිටන්
මා මළ පසු හැර තබන්න
උඩු මාලේ කවුළු පියන්
ලෝකා වරෙක පවසා ඇත්තේ තම හොඳ ම නිර්මාණය බිහි වුණේ තිරිඟු කෙතක දී බවයි.
ස්පාඤ්ඤ යුවතිය ලෝකා උපන් අන්දලුසියා ප්‍රදේශ බඳව වසන්තයේ අස්වනු නෙළා ගත් පසු පැවැත්වෙන ෆ්ලෙමෙන්කෝ රංගනයන් ගැන දීර්ඝ විස්තරයක් කළේ ය. ෆ්ලෙමෙන්කෝ (Flamenco) කලාව ස්පාඤ්ඤ ආදිවාසී අහිකුණ්ඨිකයන්ගේ ගායන වාදන හා රංගන විලාසිතාවකි. ආදි වාසීන් ලෙස සැලකුණු අන්දලුසියානු අහිකුණ්ඨිකයෝ ප්‍රදේශයේ තැනින් තැන ලැගුම් ගෙන සිටින ජන කොටසකි. ලෝකා අහිකුණ්ඨික ජන ජීවිතයේ ජනගායනා වාදන නර්තන ජනශ්‍රැති පිළිබඳ ගැඹුරු පර්යේෂණයක නියැළුණු අයෙකි. අහිකුණ්ඨිකයෝ ස්පාඤ්ඤ භාෂාවෙන් හඳුන්වන්නේ “ගිටානෝ” (Gitano) කියාය. ගිටානෝ නිසා “ගිටාරය” බිහි වූ බවත් ගිටාරය නිසා ගීතය ඇතිවූ බවත් ගීතයේ උපත සිදුවූ බවත් පැවසේ. ස්පාඤ්ඤ ගිටාරය පෙර අපර දෙදිග නිර්මාණ සංගීතයට හා වාදනයට අද නැතුව බැරි සංගීත භාණ්ඩයකි. ගිටාරය මධ්‍යම යුගයේ දී ස්පාඤ්ඤයේ වැඩි වශයෙන් භාවිත විය. එය වෙනත් යුරෝපීය රටවල ද ක්‍රමයෙන් ව්‍යාප්ත විය.
ස්පාඤ්ඤ ගිටාරයෙන් නැඟුණු මෘදු ශෝකී වාදනය මා ඇසුවේ එදවස මා නැවතී සිටි සන්තිපොන්සේ කඳුකර ගම්මානයේ දීය. ගම්බද තැබෑරුමක බීර පීප්පයක් අසල හිඳ නන්නාඳුනන තරුණයකු නැඟූ එම හඬ මසිත් හි සැඳෑ පාළුව දෙගුණ තෙගුණ කරන්නක් විය.
No comments:
Post a Comment