මහ පොළොවේ අවසාන තෙත බින්දුවත් උරාගැනීමේ පිපාසාවක් එම සුළඟට ඇත. නියඟය වනාහී සොබා දහමේ උරුමයකි. නියඟයට ඔරොත්තු දෙන ජීවන සංස්කෘතියක් ද අපට හිමි ය. දැඩි නියං සමයෙහි වගා පාළු වූ ගම්මු නියං සහනාධාර පතා වැව්වල කට්ටි කැපීම්, මාර්ගවල සහ ඇළවේළි සුද්ධ කිරීම් යනාදියෙහි නියැළෙති. “නියං කොටනවා” යනු එම ක්‍රියාව හඳුන්වන ගැමි වහරේ යෙදුමකි. නිසි වේලාවට නියං සහනාධාර නොලැබීම් පිළිබඳ චෝදනා සහ යෝජනා ද එවැනි කාලවල සුලබ වෙයි.
වියළි කලාපයේ ග්‍රාමීය පරිසරයක උපන් අයකු වශයෙන් නියඟය පිළිබඳ අති සමීප අත්දැකීම් ද පතපොතින් ලද අත්දැකීම් ද මා සතු ය. එයින් කිහිපයක් ගෙනහැර දක්වමි.
* * * * *
කුඩා කල දැඩි නියං සමයක අපේ ගමේ ළිං දෙක තුනක් හැර අනික් ළිං සියල්ල සිඳී ගියේ ය. දිනක් මගේ මව ගෙවල් තුන හතරකට ඔබ්බෙන් පිහිටි ඥාති නිවසකට අයත් ළිඳකින් වතුර කළයක් ගෙනාවා ය. මෙය සැලවීමෙන් එම ඥාති පවුලේ කාන්තාවෝ කිහිප දෙනෙක් වැට මායිමට පැමිණ, ශාප කරන්නට වූහ. මගේ මව කඳුළු පිරි දෙනෙතින් කුස්සියට ගොස් ඔවුන්ට පෙනෙන්නටම වතුර කළය බිමට හැළුවාය. ඥාති කාන්තාවෝ නික්ම ගියහ. කරුණු එසේ වුව ද දිවා කලත්, රාත්‍රී කාලයේත්, වළං කැබලිවල වතුර ස්වල්පය බැගින් දමා ඉඩමෙහි තැනින් තැන තැබීම මවගේ සිරිතක් විය. මිරිඟුව නළියන දැඩි උණුසුමේ විවිධ කුරුල්ලන් වළං කැබැල්ලට බැස දිය බොන හා නාන අයුරු දකිමින් පැටි වියෙහි වූ අපි සතුටු වූයෙමු.
* * * * *
* * * * * *
අපේ ගමට මායිම් ව පිහිටි මගුරු ඔය නිකිණි මාසයේ දී සහමුලින් ම සිඳී ගිය අවස්ථාවක වැලි ගොඩවල් අතර වතුර වළවල් පමණක් දිස්විය. දිනක් මම එම වතුර වළකට බැස කළු පැහැති දියෙන් ඇඟ සෝදා ගනිමින් සිටියෙමි. විශාල මාළුවෙක් මගේ සිරුරෙහි මඳක් ගැටී ඉදිරියට පැන්නේ ය. ඊයක වේගයෙන් අහසින් ගිය ඌ නැවතුණේ අඩි පහළොවක් පමණ දුරින් පිහිටි වෙනත් වතුර වළක ය.
“අන්න – අන්න ආරෙක් පැන්නා”
නුදුරෙහි දිය නාමින් සිටි තරුණයෙක් පැවසුවේ විස්මයෙනි. සැඳෑ කළ එළ හරකුන් සහ මී හරකුන් තුරු වදුලෙහි ගාල් කර දෙවැටි දිගේ නිවසට එමින් සිටි මට අර තරුණයා හමුවිය. ඔහුගේ සුරෙහිතහි වැලක ආධාරයෙන් එල්ලෙන බත් කෙන්දක් තරම් විශාල මාළුවෙකි.
“මම අරූ ඇල්ලුවා”
තරුණයා උජාරුවෙන් කීය. තව ටික දිනක් යන විට ඔයේ වළවල් ද සිඳී ගියේ ය. මාළුන් වෙනුවට වැල්ලෙහි පිළිපොතු ඉතුරු විය.
* * * * * *
පැටි වියෙහි මවගෙන් උගත් පාඩම් අනුව දැඩි නියං සමයෙහි සතා සීපාවන්ට ඉඩමෙහි තැනින් තැන දිය බඳුන් තැබීම අපගේ සිරිතක් බවට පත් විය. මයිනන්, ගිරවුන් සහ පොල්කිව්චන් වළංකටුවේ ගැට්ට මත දෙපා තබා සෙමින් දිය බොන අයුරුත්, කපුටන් සහ දෙමළිච්චන් වළං කටුවේ මැදට පැන එය මඩ කරගන්නා අයුරුත් දකිමින් අපේ දරුවෝ ප්‍රීති වූහ.
* * * * * *
පිපාසයෙන් පෙළෙනවුන්ට බීමට හා නෑමට වතුර ලබා දීම යනාදී වශයෙන් මිනිසාටත් සහ ආරාම (වන) ඉදිකිරීම ගහකොළ සතා සීපාවාටත් සෙවණ, සිසිල හා ජීවිත සහනය ලබා දීම උතුම් කටයුත්තක් බව වනාරොප සූත්‍රය කියවන විට හැඟෙයි. එහි එබඳු කටයුතු හඳුන්වා ඇත්තේ දිවා රෑ දෙකෙහි පින් වැඩෙන ක්‍රියා හැටියට ය. 20 – 20 ක්‍රිකට් සැණකෙළිය ඇතුළු බොහෝ සැණකෙළිවලින් වින්දනයක් ලබන අතමිට දිගහැර වියදම් කිරීමේ හැකියාව ඇති අයකු මේ දිනවල රජරට පැත්තට ගියොත් කුමක් සිතෙනු ඇති ද? පිපාසයෙන් පීඩිත අයකු හට වතුර බෝතලයක් යනු අමා පැන් බෝතලයකි.
No comments:
Post a Comment