කොයිතරම් හොඳ පොත් තිබුණත්, ඒවායේ අගය දැනගෙන හිටියත් ඒවා තමන් සන්තක කරගන්න තියෙන ආශාව, ඒ පොත්වල මිල දැක්කම යටපත් වෙන බව අනෙක් අය වගේ ම සුනාරිත් හොඳින් ම දන්නවා. ඒ හින්දා පුස්තකාලේ තියෙන පොත් පත් විතරක් ම කියවලා සෑහිමට පත් වෙන්න තමයි සුනාරි වගේ ම අනෙක් හැමෝමත් පුරුදු වෙලා තියෙන්නේ. අන්තිමේ දී හැමෝම උත්සාහ කරන්නේ මහපොළ, ශිෂ්‍යාධාරවලින් ලැබෙන සුළු මුදලෙන් කීයක් හරි පොතක් පතක් ගන්න කියලා ඉතුරු කරගන්නයි. සාහිත්‍ය මාසේ ලාබ වෙන පොත්වලට සුනාරිලා ලෝබ වෙන්නේ අන්න ඒ නිසයි.
‘හැම පොතකම තියෙන්නේ ජීවිතේ. අන්තිම හොඳම පොතෙත්, අන්තිම නරක පොතෙත් ජීවිතේ තියෙනවා. ඒත් පොතක් විකුණගන්න නං හරි අමාරුයි.’
‘හැමදේම විකිණෙද්දී ඇයි පොත් විතරක් විකුණන්න අමාරු වෙන්නේ ?’ සුනාරි ඇහුවා.
‘ඇඟේ මූණේ ගාන දේවල් තරම් මිනිස්සුන්ට කවි හිත් වටින්නේ නෑ නංගි. ඒවයෙ තියෙන්න මනුස්සකම වටින්නෙත් නෑ.’ චක්කරං එහෙම කිව්වත් කවුරුවත් ම ඒකෙන් අධෛර්යයමත් වුණේ නෑ. සරසවිය, ඔවුන්ගේ නිර්මාණ එළි දක්වන්න වේදිකාවක් වුණා. සරසවි කුරුටු ගී වගේ ම සරසවි නිර්මාණකරුවොත් බිහිවුණා. ඒත් පොත්පත් කියවන්නේ නෑ කියලා සරසවි ශිෂ්‍යයන්ට ආඩපාලි කියන කවුරුවත් ඒවා දන්නවද කියන්න සුනාරි දන්නේ නෑ.
සුනාරිට මතකයි සුමින්ද කිත්සිරි ගූණරත්න එහෙමත් නැත්නම් චක්කරංගේ ‘ඇහැළි’ කවිපොතේ එන ‘නිශාන්තය’ නමැති කවි පංතිය. සාහිත්‍යයක් නෑ කියන සරසවි සගයන්ගේ පරිකල්පනීය නිර්මාණාත්මක සිතුවිලි ඒ කවියේ තියෙනවා කියලයි සුනාරිට හිතෙන්නේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ‘නලමුදු සුවඳ’ කලා ප්‍රසංගයේ දී දක්ෂතම කවියාට හිමි විමලරත්න කුමාරගම සම්මානය එක අවුරුද්දක දී චක්කරං දිනාගත්තේ ඒ කවි පංතියට. එදා වගේ ම අදත් කවිපොත් විකිණෙන්නේ නැති වුණත් චක්කරං තාමත් කවි ලියනවා. චක්කරං වගේම තවත් හුඟාක් සරසවි ශිෂ්‍යයෝ විකුණුනේ නැතත් අමාරුවෙන් හරි තමන්ගේ නිර්මාණ කෘති එළි දක්වනවා. මේ සාහිත්‍ය මාසේ ඒ වගේ පොත් එකක් දෙකක් හරි කාගේ හෝ හිතකට ළං වුණා නම් කියලා සුනාරිට අන්තිමේ දි හිතුණා.
නිශාන්තය
දුල් ගිරි තලාවක සඳ පෑයු සවස
මල්වර වුණා තරු දහසක් නිල් අහස
ඇල්මෙන් හසර පෙන්වූ ගුරු තරු පහස
මල් මත වැටී ඉහිරුණි බිඟු ගී කළස
මල්වර වුණා තරු දහසක් නිල් අහස
ඇල්මෙන් හසර පෙන්වූ ගුරු තරු පහස
මල් මත වැටී ඉහිරුණි බිඟු ගී කළස
සඳ එළියේ අඳුර විනිවිදින තරු එළී
ජීවනයේ මිහිර මී මතින් කර හෙළී
කූජනයේ වෙළී ඒ මත ම ඇළි ඇළී
රෑ අහසින් යන්න අද තව ම ඇයි මැළී
ජීවනයේ මිහිර මී මතින් කර හෙළී
කූජනයේ වෙළී ඒ මත ම ඇළි ඇළී
රෑ අහසින් යන්න අද තව ම ඇයි මැළී
ගිරි සිරසේ රැගූ සඳ කිඳුරු කිඳුරියන්
හී සරයක වෙළී මරු තුරුල වෙත ගොසින්
යළි ඉපිදවයි නම් සඳ රැයෙක මේ වෙසින්
මම පිළිගනිමි මරණය සොඳුරු බව ලෙසින්
හී සරයක වෙළී මරු තුරුල වෙත ගොසින්
යළි ඉපිදවයි නම් සඳ රැයෙක මේ වෙසින්
මම පිළිගනිමි මරණය සොඳුරු බව ලෙසින්
No comments:
Post a Comment