මා හමුවන්නට පැමිණ සිටි නවවන ශ්‍රේණියේ දැරියක් සිය පැමිණිල්ල ඉදිරිපත් කළා ය.
“අපේ අම්ම මට කියවන්න දෙන්නෙ සුරංගනා කතා විතරයි. එහෙම නැත්නම් පාඩම් පොත්” තව දැරියක් සාක්කි දෙන්නේ පෙර කී දැරියගේ පැමිණිල්ල සනාථ කරමිනි.
මේ දැරියන් ‘කියවීමේ ව්‍යාපෘතිය’ යයි කියන්නේ ඔවුනට මා හඳුන්වා දී ඇති කියවන පොත් හා ඒවායේ කතුවරුන් කුඩා පොතක සටහන් කොට එම පොත් කිය වූ බවට සිය මවුපියන් ලවා අත්සන් කර ගැනීමේ ක්‍රමවේදයට ය. ඉඳහිට කියවූයේ යයි ව්‍යාජ ලෙස අත්සන් ලබා එන අයගෙන් කෘතියේ අන්තර්ගතය හා චරිත පිළිබඳ මා ප්‍රශ්න කරන විට හොරට කියවූයේ යයි අත්සන් ලබා ගත් සොරුන් අතට ම අසු වෙයි. එසේ වුව ද ඔවුනට හයවැන්නේ සිට ප්‍රගුණ කළ මෙම ක්‍රමවේදය නිසා මෙම දරු දැරියන්ගේ කියවීමේ රුචිය වර්ධනය වූයේ යයි අවංක විශ්වාසයක් මා තුළ ඇත.
නවය පන්තියේ කියවීමට උනන්දු දැරියන් මෙම පැමිණිල්ල මීට පෙර ද මවෙත ඉදිරිපත් කළ බව මට මතක ය. එසේ ම ඔවුන්ගේ මවුපියන් සහභාගී වූ පන්ති රැස්වීමක කියවීමේ අගය පහදමින් දරුවන්ට කියවන්නට ඉඩදෙන්නැයි මවුපියන්ගෙන් ඉල්ලා සිටි බව ද මතක ය. මම ඒ බව පැමිණිලි කූඩුවට නැඟ සිටින දැරියන්ට මතක් කළෙමි.
“වැඩක් නෑ සර් කියපු දේ අම්මල මේ කනින් අහල අනෙක් කනෙන් පිට කළා.”
එක් දැරියක් කීවාය.
තවත් දැරියකගේ පොතපත කියවීමේ ආශාවට හරස් වී සිටින්නී ඇගේ අත්තම්මා ය. දැරිය යොවුන් නවකතාවක් කියවමින් සිටිනු දකින විට පොත පැත්තකට දමා ගණන් හදන්නැයි අත්තම්මා මිනිපිරියට තරවටු කරන්නීය. පොත් කියවීම නිසා දරුවන් නොමඟ යන බව ඇගේ විශ්වාසයයි. ඈ අදහන්නී මිනිපිරියගේ වයසේ දරුවන් කලාතුරකින් හෝ කියවිය යුත්තේ සුරංගනා කතා පොත් පමණක් බවයි.
නවවන ශ්‍රේණියේ දැරියෝ තවදුරටත් කුඩා දරුවෝ නොවෙත්, උහු වැඩිවියට පත් දැරියෝ ය. නව යෞවනයට ආවේණික කායික හා මානසික ගති ලක්ෂණවලින් යුතු වූවෝ ය. එහෙත් මවුපියන්ට සිය දරුවන් තවමත් කුඩාවුන් ය. මවුපියන් සිය දරුවන් ගැන මෙසේ සිතන්නේ උනට ඇති අසීමිත ආදරය නිසා ය. එබැවින් පොතපත කියවීමෙන් දරුවන් නරක් වෙති’යි තුලනාත්මක මනසකින් කල්පනා නොකරන දෙමාපියෝ සිතත්.
පළමුවැන්නේ සිට ම ටියුෂන් ඇරඹෙයි. පාසල නිම වූ කුඩා දරුවා ඉන්පසු පන්තියකට යැවෙයි. තුන්වැන්නට යන දරුවාට ඉස්පාසුවක් නැත. ඔහු මුළු කාලය ම වැය කළ යුත්තේ අධ්‍යාපනයට ය. ශිෂ්‍යත්වය නිම වූ ඉක්බිති ව ද දරුවන්ට නිවනක් නැත. සාමාන්‍ය පෙළ විභාගය ගැන හයවැන්නේ සිට ම සිතා බලනු ලැබෙයි. කොළඹ කලාපයේ වාර විභාග ප්‍රශ්න පත්‍රවලට ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පවා වටිනාකමක් ලැබෙන්නේ මවුපියන්ගේ දරුවන්ට ඉගැන්වීමේ තරගය හේතුවෙනි.
මවුපියෝ දරුවන් අරබයා බොහෝ සිහින මවති. සිය දරුවා දොස්තරවරයෙකු , ඉංජිනේරුවෙකු වැනි වරප්‍රසාදිත රැකියාවක නිරත වනු දැකීම ඔවුන්ගේ සිහිනයයි. සිය ජීවිතයේ වගකීම් සම්භාරය අසීමිත ලෙස වැඩි කරගනිමින් ඔවුන් වෙහෙසෙන්නේ සිය සිහින සැබෑ කර ගන්නට ය. ඉදින් එසේ දරුවන් උදෙසා ඉහළට ඉණිමං බඳිමින් සිටින මවුපියෝ සිය දරුවා අගනා කාලය පොතපත කියවන්නට වැය කරනු දක්නට අකැමැත්තෝ ය.
එහෙත් මේ මහා තරගයේ අනිටු ඵල බොහෝ දුරට භුක්ති විඳින්නට සිදුව ඇත්තේ දරුවන්ට ය. සංහිඳ පාමුල තීරුව ලියන අතරේ කියවන්නට ලැබුණු දිනපතා පුවත්පතක් වාර්තා කර තිබුණේ හිත කීරිගස්වන සුලු ආරංචියකි. ‘ජාතික ළමා මානසික සෞඛ්‍ය ආයතනයට’ අනුව ළමයින් පස් දෙනෙකුගෙන් එක් ළමයෙක් මානසික ගැටලුවලින් පීඩා විඳියි. මෙම ළමයි බොහෝ දෙනෙක් ‘විෂාදයට’ ගොදුරුව සිටින බව එම වාර්තාව වැඩිදුරටත් කියා සිටියි.
තරගකාරී අධ්‍යාපන රටාව අනුව හැල්මේ දිවිල්ල බොහෝ දරුවන්ට ඔරොත්තු දෙන්නේ නොවේ. ඉන් ඔවුහු පීඩාවට පත්වෙත්. මේ පීඩනයෙන් මිදෙන්නට දරුවන්ට ක්‍රීඩාව, පොතපත කියවීම වැනි විෂය බාහිර ක්‍රියාකාරකම් අවශ්‍ය වෙයි.
අසීමිතව පොතපත කියවීමට ඇබ්බැහි වීම නිසා සිය මවුපියන් සමඟ ඇති වූ ආරවුල් අපේ ප්‍රවීණ ලේඛක ලේඛිකාවන් විසින් සඳහන් කර තිබුණු බව මතක ය. ලේඛක සෝමවීර සේනානායක සිය කුඩා වියේ දී අසීමිතව පොත් කියවනු දැකීමෙන්, පුතු උමතු වෙති’ යි බියට පත් ඔහුගේ පියා වූ ‘බැලවානේ වෙද මහතා’ ලාම්පුව නිවා දමා පුතුට තරවටු කළේලු. (මේ කතාව සෝමවීර සේනානායක සූරීන් ඔහුගේ ස්වයං චරිතාපදානයේ සඳහන් කරයි.)
කෙසේ වෙතත් පොතපත ජීවිතය පිළිබඳ සුන්දර අත්දැකීම් දරුවන් සතු කරයි. ගහකොළ, මල්, දලු ඈ නෙක සුන්දර වස්තූන්ට ආදරය කරන්නට දරුවා පොළඹවයි. ඔහුගේ හෝ ඇගේ මානසික ආතතීන් සමනය කරවයි. අපේ රටේ පමණක් නොව ලොව පුරා විවිධ ඉම් සොයා යමින් දරුවා දැනුම්වත් කරයි.
ඉතින් පොත් වැඩදායී මිතුරෙකු නොවන්නේ කෙසේ ද?
හොඳ නවකතාවක් කියවන තරුණයෙකු වුව ද සැට පිරි මහල්ලෙකුගේ ජීවිත පරිඥානය ලබන බව මාර්ටින් වික්‍රමසිංහයන් කීවේ එබැවිනි.
No comments:
Post a Comment