සිරිත් පරිදි පෙරවරු හතට පමණ රාජකාරිය සඳහා දෙපානම මංසන්ධිය පසුකර තලවතුගොඩ දෙසට යද්දී මගේ දෙනෙත පුරුද්දට මෙන් පාරේ දකුණුපස දෙමහල් නිවසෙහි කළු ගේට්ටුව දෙසට යොමුවෙයි.
බොහෝ විට, ගේට්ටුව ඉදිරිපිට හෝ, ඊට නුදුරු මඟ අයිනෙහි සක්මනෙහි යෙදෙන මුනිවරයකු බඳු වියපත් මිනිසකුගේ රූපකාය මා නෙත් අලවයි. එයින් මසිත ප්‍රබෝධවත් වෙයි. මේ මුනිවරයාගේ සුරතෙහි සැරයටියකි. ඔහු ඇඳ සිටිනුයේ නොකිළිටි දළ වස්ත්‍රයකි. සැහැල්ලු සිනාවකින් මුව පැහැසර වී තිබේ. පස්වරු හයට පමණ රාජකාරි නිමවා දෙපානම මංසන්ධිය පසුකර පන්නිපිටිය දෙසට ප්‍රවේශ වන විට මම වම්පස බලමි.
කළු ගේට්ටුවේ යකඩ කූරු අතරින් පෙනෙනුයේ දෙමහල් නිවසෙහි මිදුලේ අඹ ගස යට පුටුවක් මතට වී පොතක් දෑසට සමීප කරගෙන “භාවනාවක නිරතව“ සිටින ඒ මුනිවරයා ය. ඉඳහිට මඳක් නැවතී ඔහු හමු වී දුක සැප විමසා බැලීම මගේ සිරිතකි. මේ මුනිවරයා ආගමික ක්‍රියාවක යෙදී සිටින්නකු නොව, සිංහල ලේඛක පාඨක ප්‍රජාව හොඳින් අඳුනන ගත්කතුවරයකු වන සිරිලාල් කොඩිකාර යි. මගේ මතකයේ හැටියට ඔහුගේ වයස අවුරුදු අනූවකට ආසන්න විය යුතු ය. එහෙත් ඔහු නිරෝගී සම්පන්න ජීවිතයක් ගත කරමින් පතපොත කියවීමෙහි මෙන් ම ලිවීමෙහි ද යෙදී සිටියි.
ඔහු පන්සල් නොයයි. ආගම නොඅදහයි. එහෙත් ඔහු ධාර්මික මිනිසෙකි. ඔහුගේ සාහිත්‍යය සහ මාධ්‍ය ලේඛන නවීන චින්තනයකින් දිදුලයි. ඔහුගේ චින්තාවලිය, ආචීර්ණ කල්පික අදහස් කුඩු පට්ටම් කරන ජවයකින් ද, මානව ජීවිත සුපුෂ්පිත කරවන සංවේදනා මැවීමෙහි අපූර්ව ප්‍රතිභා ශක්තියකින් ද බැබලෙයි. ඔහු මට මුල්වරට මුණ ගැසුණේ 1990 වසරේ මා ලක්මිණ පුවත්පතෙහි සේවය කරන සමයෙහි ය. ඉන්පසු ලක්දිව, රාවය යන පුවත්පත්වල සේවය කළ අවධියෙහි විවිධ කටයුතු සඳහා බොහෝ අවස්ථාවල ඔහු හමුවන්නට ලැබිණ.
වැඩිහිටි ලේඛකයකුගෙන් බලාපොරොත්තු නොවිය හැකි මට්ටමේ ගතිලක්‍ෂණ ඔහුගෙන් මම හඳුනා ගතිමි. හමු නොවීම් දිගු වූ විට ඔහු දුරකථනය ඔසවයි. මගේ දුරකථන අංකය වෙනස් වූ විට ඔහුගෙන් මට ලියුමක් ලැබෙයි. සුමිතුරාණෙනි! යනුවෙන් කෙරෙන එම ඇමතුම සහිත ලියුම අතට ගන්නා විට මට දැනෙනුයේ සද්ධර්මරත්නාවලිය හෝ අමාවතුර අතට ගන්නා විට දැනෙන හැඟීමට සමාන වූ හැඟීමකි. සැබෑව! මා සතු ව ඇති ඒ ලියුම්, සාහිත්‍ය කෝෂ්ඨාගාරයක් වැන්න.
ඔහු ලියූ “කනේරු මල්” කාව්‍යය සිංහල කවියෙහි ගමන් මඟ වෙනස් කළ සුවිශේෂී කෘතියකි. කොටින්ම නූතන සිංහල සාහිත්‍යයක් නැතැයි පවසන ගුණදාස අමරසේකරයන්ගේ ප්‍රශංසාව දිනාගැනීමට එම කෘතිය සමත්වීම ම එහි විශිෂ්ටත්වය පිළිබඳ නොවරදින සාක්‍ෂියකි! කනේරු මල් කාව්‍යයට වස්තු විෂය වූයේ කණවේර ජාතකයයි. මේ කතාව කාව්‍යයකට උචිත යැයි සිරිලාලුන්ට පවසා ඇත්තේ මහාචාර්ය සුනන්දයන් බව පසු ව මට දැනගත හැකි විය. එම ජාතක කතාවෙහි බෝධිසත්වයෝ පල් හොරෙකි. ඔහු ඇති හැකි අයගෙන් කොල්ලකා නැති බැරි අයට බෙදා දෙයි. කාව්‍යය ආරම්භ වන්නේ මෙසේ ය.
අනේ රුසිරු පෑ සාමා වෙසඟනට
කනේරු මල් වදුලක දී කළ ගහට
බනේ මෙනෙයි බෝසත් සිරිතක් ලෙසට
පෙනේ කරුණු අතෙකින් එද හරි බවට
කනේරු මල් වදුලක දී කළ ගහට
බනේ මෙනෙයි බෝසත් සිරිතක් ලෙසට
පෙනේ කරුණු අතෙකින් එද හරි බවට
කදිම උත්ප්‍රාසයකි! වරක් හේමා ප්‍රේමදාස ආර්යාව “රට සංවර්ධනය කිරීම” ගැන දෙසුමක් කළා ය. සිරිලාල් හෙවත් රංචාගොඩ මෙසේ ලිවී ය.
මගෙ මිනිහා පටන් අර ගත් දිනේ සිට
කොට කොට කොට කොට සංවර්ධනය කොට
බැරි කොට මිනිහාට කරගන්ට බැරි කොට
මමවත් ඉතින් මට පුලුවන් හැටියකට
කොට කොට කොට කොට සංවර්ධනය කොට
බැරි කොට මිනිහාට කරගන්ට බැරි කොට
මමවත් ඉතින් මට පුලුවන් හැටියකට
“ඇත්ත” පත්තරේ රංචාගොඩගේ ජවය සිළුමිණේ රංචාගොඩගෙන් නොපෙනෙන බව මට කීවේ මගේ සාහිත මිතුරෙකි. මගේ සම්භාෂා පොත කියවූ සිරිලාල් පුනරුත්පත්තිය ගැන මා ලියූ කරුණුවලට ද ප්‍රතිචාර දක්වමින් ලියුමක් එවී ය. “ඔබ පුනරුත්පතිය නො පිළිගන්නේ බුදු දහමේ ඒ පිළිබඳ ඇති කරුණු හැදෑරීමෙන් බව පෙනේ. ඒ අතින් මා ද ඔබට සමාන ය.”
මීට වසර කිහිපයකට පෙර “පන්නිපිටියේ මකරන්ද සාහිත උළෙලේ දී අපි ඔහුගේ සාහිත සේවය ගැන ඇගයීමක් කළෙමු. ආරාධිත විද්වතා වූ ආචාර්ය ලියනගේ අමරකීර්ති එදා සිරිලාල්ට යුක්තිය ඉෂ්ට කළේ ය. දවල් ආහාර ගැනීමට පෙර සිරිලාල්ට යුක්තිය ඉෂ්ට කිරීමට මට ද සිදු විය! ආහාරය ගෙදර ගෙන ගොස් බුක්ති විඳීම සඳහා ඔතන ලදී. ගල් අරක්කු බෝතල් කාලේ මූඩිය ඉවත් කෙරුණේ ඔහුගේ නිවසට යන අතරමඟදී ය.
ඔහුගේ උගුරු දණ්ඩ දෙතුන් වරක් ඉහළ පහළ ගියේ ය. “කාල” “අමුවෙන් ම” අතුරුදහන් විය. “සතියකට මෙහෙම පංගු අටක කෝටාවක් මට ගෙදරින් ලැබෙනවා. ඉඳලා හිටලා මදි වුණාම විතරයි එළියට යන්නේ” ඔහු කීය. මධුවිත ගැන සඳහන් කළේ එය හරි යැයි කීමටවත් ඔහුගේ වැදගත් ම ලක්ෂණය එය යැයි කීමටවත් නො ව ඔහු පන්සිල් ගන්නා බෞද්ධයකු නො වන බවත්, ඔහු “සිල්වත් ලේඛකයකු” බවත් කීමට ය! මට බරට්‍රන්ඩ් රසල්ගේ ජීවිතය සිහිපත් වෙයි. ඔහු ජීවිතාවසානය දක්වා හොඳ සිහියෙන් හා මනා සෞඛ්‍ය තත්ත්වයෙන් යුතු ව ලිවීමෙහි නිරත විය. එහෙත් ඔහුගේ අදහස් ඉදිරිගාමී චින්තනයකින් බැබලුණේ ය. “ආගමට” වඩා “ධර්මය” වැදගත් වන බව ඔහු ද දුටුවේ ය.
ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම්ලාගේත් සිරිලාල් කොඩිකාරලාගේත් පරපුරක් බිහි නොවීම අද තිබෙන සමාජ ගරාවැටීම් හා නායයෑම්වලට පිටු දුන් ප්‍රබල හේතුවක් යැයි මම සිතමි.
No comments:
Post a Comment